Labels

Wednesday, June 30, 2010

මීමුරේට පා ගමනක්

සුන්දර නකල්ස් කදුවැටියේ සැගවුණු ගැමි ජීවිත මනරම්ය.සොබාදහම සමග බද්ධ වී ඇති එම ජීවිත අව්‍යාජය, සුන්දරය.රෑ 12ට කො‍ටුව මධ්‍යම බස් නැවතුම්පොළ තරම් කාර්යබහුල තැනක් ලංකාවේ නොමැති තරම්ය.ඒ දිවයිනේ නන් දෙසට බස් රථ එම පැයෙහි පිටත්වන බැවිනි.
අපිත් මහියංගන බස් රථයට ගොඩ වූයේ සුපුරුදු ගාලගෝට්ටියකින් පසුවය.මග දෙපස අදුර පැතිරුනද කඩුගන්නාව කන්ද හදුනාගැනීම පහසු විය.අළුයම 3ට පමණ නුවරට ළගා වූ බස් රථය දහ අට වංගුව හරහා මහියංගනයට ඇදෙන අතර අප හුන්නස්ගිරියෙන් බහින විට අළුයම 4.45 පමණ විය.


හුන්නස්ගිරියේ සිට ලූල්වත්ත දක්වා අබලන් මාර්ගයේ ගමන් කරන වෑන් රථයේ ආරම්භය උදෑසන 8 පමණ වන බැවින් අප දෙපා වලට දිරිදී ඒ හිමිදිරියේ ඉහළට ඇදුනෙමු.උදෑසන 8.30ට පමණ අතරමගින් වෑන් රථයට ගොඩ වූ අප ලූල්වත්තට ළගා වුනෙමු.එතැන් සිට වනගත මාර්ගයක, කෙටි මගකින් අපට කෝර්බට් ගැප් වෙත ළගා වීමට මිනිත්තු 30ක් පමණ ගත විය.මධ්‍යහනයේ වුවද අධික සුළගක් පැවති අතර පැහැදිලි අහස ඈත ගම්දනවු මනාව දක්වන්නට විය.පක්ෂි නිරීක්ෂනයට වැඩි කාලයක් යොදමින් ඉදිරියට ඇදුනු අපට රෑ නවාතැන පූස්සේ ඇළ අසල ගත කිරීමට සිදුවිය.




එවෙලෙහි ඇද වැ‍ටුණු වැහිදිය බාධා කලද කුසට අහර ලබාගත්තේ භූමිතෙල් ලිපේ පිහිටෙනි.ඉක්මන් නින්ද අප හට ගෙනහැර පෑවේ ගමනේ වෙහෙසකර බවය.පසු දිනද උදෑසන ආහාර අනුභව කළ අප නැවතත් කයිකාවල,හීන් ගග පසු කර මීමුරේ දෙසට ඇදෙන්නට විය.


මීමුරේ ඇළෙන් සිත් පරිදි ජල ක්‍රීඩා කළ අප ගම්මන්ඩිය පසුකොට ඇති කුඹුරු යායේ අපගේ ටෙන්‍ටුව අටවා ගත්තෙමු.


වෙනදා අයගේ මෙන් ශබ්දයක් නැති අපගේ පැලට ගොඩ වූ ආනන්ද මාමා ගමේ වගතුග යටගියාව කීවේ සතු‍ටු සිතිනි.යළිත් ආ පාරේම යන්නට ආ අප වෙන මාවතකට හැරවූ ඔහුගේ උපදෙස් අපට මහත් ප්‍රබෝධයක් ගෙනදිය.




හිමිදිරියේ අවදි වූ අපට පළමු හිරු කිරණ පතිත වන මොහොතේ දිස්වුනු ලකේගල මා ජීවිතයේ දු‍ටු චමත්කාරජනක සේයාවක් විය.උදෑසන 6ට පමණ නාරංගමුවට එන මගට පිළිපන් අප හට පිහිටට ආවේ මග දිගට වූ ඊතල සළකුණුය.අපේ හිත් තුල චකිතයක් ගෙන ආවේ පතන් වල සැරිසැරූ බවට සළකුණු තැබූ අලි රංචුවය.වාසනාවේ මහිමයට අප නිරුපද්‍රිතව නාරංගමුවට ළගා විය.එතැනින් දහවල් 2.15ට තිබුණු බස් රථය මාතලේ දෙසට ධාවනය විය.ඉලුක්කුඹුර,පිටවල පතන හරහා මග දෙපස නරඹමින් පැමිණි අප මාතලේට ළගා වන විට පස්වරු 6 පමණ විය.රෑ 7ට තිබුනු මාතර බස් රථයට නැගුනු අප රෑ 1ට පමණ ක‍ටුබැද්දෙන් අපේ ගමන අවසන් කළෙමු.

Saturday, June 5, 2010

සුන්දර නමුනුකුල 06°55′59″N 81°06′49″E

කදු මුදුන් නමයකින් සමන්විත බැවින් නමුනුකුල ලෙසින් හැදින්වෙන මෙය ශ්‍රි ලංකාවේ උස අතරින් 11 වැනි ස්ථානය ලබා ගනී.උසින් 2035 m(6677feet) වේ.
2007 දෙසැම්බර් 31 රෑ නව වසරක අසිරිය නමුනුකුල ගතකල අප යලිත් ඒ මිහිරිය සොයා යන්නට පුල පුලා බලා සිටියෙමු.වෙනදා මෙන් ඒ සදහා අපේ සෙට් එක ලකලැහැස්ති වීමු.2009 පෙබරවාරි 20 වන දින සවස 5ට පමණ මොර‍ටුව සරසවි බිමෙන් සමුගත් අපි කොලඹ කො‍ටුවට පැමිණ කල්තියාම මරදානෙට ලගා වුනේ සිකුරාදා දිනක අසුනක් සොයා ගැනීම අපහසු බැවිනි.රෑ 8ට කො‍ටුවෙන් පිටත්වීමට තිබූ බදුලු දුම්රිය වෙනදා මෙන් පැයක් ප්‍රමාද විය.ගියවර ‍රැගෙන ගිය 30kg පමණ බර ටෙන්ට් එක වෙනුවට 12kg පමණ බර ටෙන්ට් එක මහත් අස්වැසිල්ලක් විය.සීතල කදු අතරින් බදුලු කුමාරිය බදුල්ලට ළගා වන විට උදෑසන 9පමණ විය.උදෑසන ආහාරය සමග අවශ්‍ය කලමනා මිලදී ගත් අපි 11.20ට පමණ ස්ප්‍රින්වැලි බසයකට ගොඩ වීමු.
නමුනුකුල මුදුනට ළගා විය හැකි මාර්ග කිහිපයකි.පස්සර දෙසින්ද නැතිනම් 4WD වාහනයකින් මහියංගන පාරේ 3 කණුවෙන් හැරී දෙවනගල දක්වා පැමින ඉතිරිය පයින්ද, එසේත් නැතිනම් අභියෝගයට කැමති අයට ස්ප්‍රින්වැලි දෙසින්ද ලගා විය හැක.අපි 12.10ට පමන Kottegodde තේ ෆැක්ටරි එක ගාව බැස වමට තියෙන පාරෙන් ගමන පටන් ගත්තෙමු.




පරිසරයේ සොදුරු බව විදිමින් ගිය අප දෙවනගල ඇල්ල ලගට යනවිට 3පමන විය.එතන ලැයින් කාමර වලින් දිය පහස නිවාගත් අප ඉක්මනට තේ වතු පසුකරමින් වනාන්තරයට ඇතුලු වෙන තැනට පැමිණියෙමු.

සිරිත් විරිත් පරිදි කොල අත්තක් කඩා දේව රූපයට බාරවෙමින් විනාඩි 45ක් පමන වනාන්තරයේ ගමන් කල අප මුදුනට ලගා වන විට සවස 5 පසු විය.
මුදුනෙහි ළිදක් පැවතියද එය අපවිත්‍ර බැවින් දිය ගෙන ඒම පිණිස වෙනම මාර්ගයක යා යුතුය.අපි අපේ ටෙන්ට් එක අටවාගෙන ගිණි මැලයකින්ද සන්නද්ධ වීමු.වෙහෙසකර ගමනින් පසු අපි සකස් කල ආහාර අපට දිව්‍ය භෝජනය. ඒ සොදුරු රාත්‍රිය අපි එසේ ගෙවා දැම්මෙමු.උදෑසන හිරු උදාව මනරම්ය.එහෙත් එකවරම පැමිනි මීදුම් වලාව අපි එකිනෙකාට අපිව නොපෙනෙන තරම් ප්‍රභලය.

රාත්‍රි තැපැල් දුම්රියට ඕනෑ තරම් කල් වේලා ඇති බැවින් අතරමග කාලය රිසිසේ ගෙවා දැම්මෙමු.හැමදාම පමා වී බැණුම් අසනා යකඩ යකා අපගේ උදෑසන 8 ලෙච්චර් එකටද හරස් විය.සුන්දර නමුනුකුලට ආපසු යන්නට ඇත්නම්.......................



Friday, June 4, 2010

පිටකො‍ටුවෙන් පළා යාම



ජීවන අත්දැකීම් කොයිකාටත් එකසේ වැදගත්ය.වැඩිහිටියන් අපට උපදෙස් ලබාදීමේදී අප ඒවා ඉවත දමන්නේ තේරුමක් නොමැති ඒවා ලෙසය.එහෙත් අප වැඩිහිටියන් වූ පසු ඒවයේ වටිනාකම මනාව වැටහේ.
"පරාජය යනු ඊළග ජයග්‍රහණයට අත්දැකීමක් වේ."

nokia 6500 ජංගම දුරකථනයක් භාවිතා කරන මට ඒ සදහා batteryක් මිලදී ගැනීමට අවශ්‍ය විය.මම දෙහිවල shop එකකට ගිය විට ඔවුන් පැවසුවේ "මල්ලි nokia arcade එකට ගිහින් ඔරිජිනල් එකක් ගන්නා ලෙසය." බම්බලපිටියේ arcade එකට ගිය විට මට දෙලෝ රත්විය.එහි මිල Rs 5500විය.කැෂියර් එකේ සිටි අයියා පැත්තකට ඇවිත් මට පැවසුවේ යහලුවෙකු dubai වලින් ගෙනෙන ලද ඔරිජිනල් එකක් Rs 3800 ලබා දිය හැකි බවයි.මම එතැනින් පළා ගියෙමි.
කොයි කවුරුත් වාගේ මමත් පිටකො‍ටුවට සේන්දු විය.එක තැනකින් මට පැවසුවේ Rs 250,Rs 650 battery වර්ග 2ක් තිබෙන බවය.හොද එක RS 650 බව කියූ නිසා මමත් 650 එක ඉල්ලුවෙමි.කෝකටත් කියා මම 250 එකත් ඉල්ලුවෙමි. එවිට ඔවුන් නිරුත්තර විය.අවසානයේ මට සිද්ධිය පැහැදිලි විය.ඔවුන් සතුව ඇත්තේ Rs 250 එක පමණි. 250,650 2ක් ඇතිබව කියූ විට කවුරුත් පාහේ 250හේ එක 650 දී මිලදී ගනියි.මම එතැනිනුත් පළා ගියෙමි.
තව තැනකට ගොඩ වූ මට ඔහු පැවසුවේ උඩුමහලේ stores වලින් ‍රැගෙන එන්නම් කියාය.මම ඔහු පසු පස හඹා ගියෙමි.වෙනත් කඩයකින් එය ලබාගත් ඔහු එය මට Rs 400 කට අලෙවි කිරීමට සූදානම් විය.මම එතැනිනුත් පළා ගියෙමි.
අවසානයේ මම වෙනත් තැනකින් Rs 280ක් දී මිලදී ගත්තෙමි.අවුලක් නැත batteryය වැඩය.බෝඩිමට ඇවිදින් charge වෙන්න ගැසුවෙමි. අනේ අපොයි........ No Charging

ප.ලි. පිටකො‍ටුවේ ගිහින් phone accessories ගන්න අය යන්න ඕන හොදම තැන මම දන්න විදියට මෙන්න මෙතනයි.
Trans Asia Electronics
61 1st cross street,
Colombo 11
011-2473320

Friday, May 14, 2010

මගේ බ්ලොග් එක


අනුන්ගේ බ්ලොග් කියවා කියවා හිටපු මම තමන්ටම කියලා බ්ලොග් එකක් ඔන්න පටන් ගත්තා. setz කියන්නෙ මොකක්ද කියලා දන්න අය දන්නවනෙ ඒ ඇති