Labels

Wednesday, June 30, 2010

මීමුරේට පා ගමනක්

සුන්දර නකල්ස් කදුවැටියේ සැගවුණු ගැමි ජීවිත මනරම්ය.සොබාදහම සමග බද්ධ වී ඇති එම ජීවිත අව්‍යාජය, සුන්දරය.රෑ 12ට කො‍ටුව මධ්‍යම බස් නැවතුම්පොළ තරම් කාර්යබහුල තැනක් ලංකාවේ නොමැති තරම්ය.ඒ දිවයිනේ නන් දෙසට බස් රථ එම පැයෙහි පිටත්වන බැවිනි.
අපිත් මහියංගන බස් රථයට ගොඩ වූයේ සුපුරුදු ගාලගෝට්ටියකින් පසුවය.මග දෙපස අදුර පැතිරුනද කඩුගන්නාව කන්ද හදුනාගැනීම පහසු විය.අළුයම 3ට පමණ නුවරට ළගා වූ බස් රථය දහ අට වංගුව හරහා මහියංගනයට ඇදෙන අතර අප හුන්නස්ගිරියෙන් බහින විට අළුයම 4.45 පමණ විය.


හුන්නස්ගිරියේ සිට ලූල්වත්ත දක්වා අබලන් මාර්ගයේ ගමන් කරන වෑන් රථයේ ආරම්භය උදෑසන 8 පමණ වන බැවින් අප දෙපා වලට දිරිදී ඒ හිමිදිරියේ ඉහළට ඇදුනෙමු.උදෑසන 8.30ට පමණ අතරමගින් වෑන් රථයට ගොඩ වූ අප ලූල්වත්තට ළගා වුනෙමු.එතැන් සිට වනගත මාර්ගයක, කෙටි මගකින් අපට කෝර්බට් ගැප් වෙත ළගා වීමට මිනිත්තු 30ක් පමණ ගත විය.මධ්‍යහනයේ වුවද අධික සුළගක් පැවති අතර පැහැදිලි අහස ඈත ගම්දනවු මනාව දක්වන්නට විය.පක්ෂි නිරීක්ෂනයට වැඩි කාලයක් යොදමින් ඉදිරියට ඇදුනු අපට රෑ නවාතැන පූස්සේ ඇළ අසල ගත කිරීමට සිදුවිය.




එවෙලෙහි ඇද වැ‍ටුණු වැහිදිය බාධා කලද කුසට අහර ලබාගත්තේ භූමිතෙල් ලිපේ පිහිටෙනි.ඉක්මන් නින්ද අප හට ගෙනහැර පෑවේ ගමනේ වෙහෙසකර බවය.පසු දිනද උදෑසන ආහාර අනුභව කළ අප නැවතත් කයිකාවල,හීන් ගග පසු කර මීමුරේ දෙසට ඇදෙන්නට විය.


මීමුරේ ඇළෙන් සිත් පරිදි ජල ක්‍රීඩා කළ අප ගම්මන්ඩිය පසුකොට ඇති කුඹුරු යායේ අපගේ ටෙන්‍ටුව අටවා ගත්තෙමු.


වෙනදා අයගේ මෙන් ශබ්දයක් නැති අපගේ පැලට ගොඩ වූ ආනන්ද මාමා ගමේ වගතුග යටගියාව කීවේ සතු‍ටු සිතිනි.යළිත් ආ පාරේම යන්නට ආ අප වෙන මාවතකට හැරවූ ඔහුගේ උපදෙස් අපට මහත් ප්‍රබෝධයක් ගෙනදිය.




හිමිදිරියේ අවදි වූ අපට පළමු හිරු කිරණ පතිත වන මොහොතේ දිස්වුනු ලකේගල මා ජීවිතයේ දු‍ටු චමත්කාරජනක සේයාවක් විය.උදෑසන 6ට පමණ නාරංගමුවට එන මගට පිළිපන් අප හට පිහිටට ආවේ මග දිගට වූ ඊතල සළකුණුය.අපේ හිත් තුල චකිතයක් ගෙන ආවේ පතන් වල සැරිසැරූ බවට සළකුණු තැබූ අලි රංචුවය.වාසනාවේ මහිමයට අප නිරුපද්‍රිතව නාරංගමුවට ළගා විය.එතැනින් දහවල් 2.15ට තිබුණු බස් රථය මාතලේ දෙසට ධාවනය විය.ඉලුක්කුඹුර,පිටවල පතන හරහා මග දෙපස නරඹමින් පැමිණි අප මාතලේට ළගා වන විට පස්වරු 6 පමණ විය.රෑ 7ට තිබුනු මාතර බස් රථයට නැගුනු අප රෑ 1ට පමණ ක‍ටුබැද්දෙන් අපේ ගමන අවසන් කළෙමු.

No comments: