Labels

Friday, February 24, 2012

Comoros - ගිනි කන්දක් පාමුල ගෙවන දිවිය

Comoros කියල කිව්වම එහෙම රටක් කවුරුවත් අහලා නැතුව ඇති මමත් ඇහුවේ මෙහේ එන්න සතියකට විතර කලින්, මේ රට තියෙන්නේ අප්‍රිකාවයි මැඩගස්කරයයි අතරයි.



15වන 16වන ශත වර්ෂ වල ඉන්දු-මලයානු නාවිකයන්ගෙන් පැවතීම ආරම්භ වන මෙම රට ප්‍රංශ යටත් විජිතයක් වශයෙන් පැවතිල 1975 ජූලි 6වෙනිදා නිදහස ලබාගෙන තියෙනව. අපේ රට වගේම කැරලි 18කට පස්සේ තමයි ඔවුන්ට නිදහස ලබාගන්න පුලුවන් වෙලා තියෙන්නේ. ඇත්තටම Comoros ප්‍රධාන දූපත් 4කින් සමන්විත වෙනවා. ඒ Grand Comoros, අන්ජුවාන්, මොහේලි සහ මයොත් යන දූපත් වලින්, නමුත් මයොත් දූපතේ අය ස්වකැමැත්තෙන්ම ප්‍රංශ යටත් විජිතයක් වශයෙන් තවමත් පවතිනවා. ඒ නිසා Union of the Comoros කියල ඉතුරු දූපත් 3ට කියනවා. මේ රටේ අගනුවර මොරෝනි පිහිටල තියෙන්නේ Grand Comoros වල තමයි. මේ රටේ ජනගහනය ලක්ෂ 8ක් විතර වන අතර 98% විතර අය සුන්නි මුස්ලිම් ජාතිකයන්, ඉතුරු අය ක‍තෝලිකයන්. මේ අයගේ පෙනුම අප්‍රිකානු ජාතිකයන් වගේමයි. මට නම් හැගීගියේ ඔවුන් ඉතා අහිංසක නුවණින් අඩු මිනිසුන් පිරිසක් ලෙසිනි. මේ රටේ භාවිතා වන භාෂාවන් වන්නේ ප්‍රංශ, අරාබි හා කොමෝරියන් යන භාෂා 3යි. මුදල් වර්ගය comoros franc (1රුපියලක් = 3 comoros franc ) වන අතර යුරෝද භාවිතා කරනවා. මේ දූපත් කොතරම් පොඩිද කියනවා නම් ලොකුම දූපත වන Grand Comoros වල දිග 60km වන අතර පළල 20km පමණවේ. ලංකාවට වඩා පැය දෙකහමාරක් අඩුවෙන් තියෙන කාල පරාසයක තමයි මේ රට පිහිටලා තියෙන්නේ. මෙහේ airport එක පිහිටලා තියෙන්නේ හහායා කියන නගරයේ ඒත් ලංකාවෙ වගේ නොවෙයි අපිවනම් කොහොමවත් check කලේ නෑ. 1996 නොවැම්බර් මස ලෝකයේ කාටත් අමතක නොවෙන Boeing 767-260 යානයක ගුවන් අනතුරක් Comorosහිදී සජීවීව පටිගත වුනා. මෙන්න Video එක තවද වසර මිලියන 400කට ඉහත ජීවත්වූවා යැයි කියන සීල්කාන්ත් මත්ස්‍යයෙක් ලෝකයේ දෙවන වරට, 1952දී සොයාගනු ලැබුවේත් comorosහි අන්ජුවාන් දූපතෙනි. මේ රට ලංකාවට සාපේක්ෂව දුප්පත් රටක්, රටේ ඒකදු ගංගාවක් වත් නෑ. මේ අය ජලය ලබාගන්නේ ගැඹුරු ළිං වලින්, විදුලිය ඩීසල් බලාගරයකින් ලබාදෙනවා එහෙත් දවසට පැය 6ක් පමණ විදුලිය කප්පාදු කරනවා. ඒ කියන්නේ ලංකාව මීට අවුරුදු 15කට කලින් වගේ, පාරවල් තියෙන්නෙත් ඒ මට්ටමේ. එහෙම වුනත් ලංකාවේ වාහනයක් ගන්න මුදලින් 60% වාගේ මෙහේ එම වාහනය මිලදී ගන්න පුලුවන්, රජයෙන් බදු අය නොකිරීම මීට හේතුවයි. මේ රටේ බස් රථ නොමැත ඒ වෙනුවට ඇත්තේ taxi ලෙස කාර් හා වෑන් රථ පමණි. මේ රටේ වාහන පැදවීම වම්පසින් සිදු කරනු ලබයි. අඩු තාක්ෂණික දැනුමක් පවතින බැවින් බොහෝ ස්ථාන වල ලංකාවේ දැනට භාවිතා කරන ආකාරයේ වාහන ඕනෑ තරම් අතහැර දමා ඇති ආකාරය දැක ගත හැක.





මේ රටේ තිබෙන විශේෂම කාරණය වන්නේ දැනට ලෝකයේ පවතින විශාලතම සක්‍රීය ගිණිකන්දක් මෙහි පිහිටා තිබීමයි. Karthala Volcano වන මෙය google earth එකෙන් බැලුවෙ නැත්නම් වැඩක් නෑ මෙන්න cordinate link එක 11°46' S 43°22' E. අවසන් වරට මෙය 2006 මැයි මස සක්‍රීය වුන අතර, අවසාන වරට පුපුරා ගියේ 2005 අප්‍රේල් මසය. එහිදී දින 14ක් නොකඩවා ලාවා ගලාගිය බව වාර්තාවේ. සාමාන්‍යයෙන් අවුරුදු 11කට වරක් පුපුරා යන බවටද වාර්තාවේ. 1860 අවුරුද්දේ පුපුරා ගිය අවස්ථාවේ බොහෝ ප්‍රදේශ වල මුහුද දක්වා ගලා ගිය ලාවා ස්ථරය නිසා මෙහි පොළොවේ ඇත්තේ මුහුද දක්වා ගලා ගිය ලාවා ස්ථරයකි.





එහෙත් මේ සාරවත් පසෙහි බැලූ බැලූ අත අඹ,පොල්,කොස්,දෙල්,කෙසෙල්,අන්නාසි,දොඩම් ගස් සරුවට වැවී ඇත. ශ්‍රී ලංකාවට සාපේක්ෂව ඉතා වැඩි වියදම් සහිත රටක් වූ මෙහි coca-cola/fanta බෝතලයක් Rs 100,සීනි 1kg Rs 200,හාල් 1kg Rs 200,පොල් ගෙඩියක් Rs 100 පමණවේ. එකම දුරකථන ජාලයක් පවතින මෙහි අභ්‍යන්තර දුරකථන ඇමතුමක් Rs 18ද, ශ්‍රී ලංකාවට දුරකථන ඇමතුමක් Rs 400 පමණදවේ. අන්තර්ජාල පහසුකම් දැන් දියුණු වෙමින් පවතී.

සාක්ෂරතාවය 50% පමණ වන මෙම රටෙහි බොහෝ දෙනා නිකරුනේ කාලය ගෙවා දමන ආකාරය අපට දැකගත හැකි විය.(සමාවෙන්න comoros වැසියනි ඔබ නිකරුනේ කාලය කා දමනවා යැයි සදහන් කලේ ශ්‍රි ලංකාවට සාපේක්ෂව අපි වාණිජමය ලොවක ජීවත් වන බැවිනි. ඔබගේ නිදහස අගයන්නෙමු.) සෑම ගමකම පාහේ විශාල ගසක් යට බංකුවල වාඩි වී ඔවුන් තම අදහස් හුවමාරු කර ගනිමින් සිටිති. ඔවුන් බොහෝ දෙනා දිනකට එක වේලකින් කුස පුරවාගෙන සිටිති. ඔවුන් මස් පිණිස කුකුළන්,එඵවන්,බැටඵවන් සහ ගවයන් ඇති කරති. රටේ ධීවර කර්මාන්තය ගැන ලොකු විස්තරයක් පහතින් දක්වන්නම්. Wikipedia web එකේ comoros කියන්නේ ලෝකයේ දෙවන විශාලතම වැනිලා නිෂ්පාදනය කරන රට වශයෙන් හදුන්වන අතර කරාබුනැටි ඇතුලු perfume essences බොහොමයක් නිපදවන රටක් ලෙසිනි. මැයි සිට ඔක්තෝබර් 26°C-29°C උෂ්ණත්වයක්ද, නොවැම්බර් සිට අප්‍රේල් දක්වා 19°C උෂ්ණත්වයක්ද පවතී. ජනවාරි සිට අප්‍රේල් දක්වා සුළිසුළං ඇතිවීමේ හැකියාවක්ද පවතී.





ඉතා සුන්දර වෙරළක් පිහිටි මෙම රටෙහි නොගැඹුරු මුහුදු ජලය ලා නිල් පැයෙන් දිස්වෙනවා. Itsandra හා Mitsamiouli යනු ලාවා තට්ටුටව මත වැලි තැන්පත් වූ සුන්දර වෙරළ තීරයන් වේ.



රටෙහි උතුරු කොනෙහි පිහිටි Salt Lake යනු hot sulphur උල්පතකි. එය මුහුදට ඉතා ආසන්නයේ පවතී.







අපි මොනවද මෙහේ කරන්නේ...............

රට වටේට මහ සාගරය පිහිටියත් එහි පරිභෝජනය ගැනීමට නොහැකිව පවතින මෙම රටට කටාර් රජයෙන් ධීවර කර්මාන්තය සදහා මූල්‍යමය සහයෝගය ලබා දෙනවා. කටාර් රජයෙන් මෙම ව්‍යාප්තිය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ මහනුවර Hairu Engineering Consultancy ආයතනයටයි. නොගැඹුරු මුහුදේ පමණක් ධීවර කර්මාන්තයේ යෙදෙන බොහෝදෙනෙක් ඒ සදහා යොදා ගන්නේ ලංකාවේ පවතින ඔරුවකට සමාන එහෙත් කුඩා කොල්ලෑ 2ක් දෙපසින් පිහිටි ඔවුන් ගලාව ලෙසින් හදුන්වන යාත්‍රාවයි.



අනෙක් කාරණාව වන්නේ දැල් භාවිතයෙන් තොරව සාම්ප්‍රදායික ලෙස බිලී කොකු මගින් මාලුන් අල්ලා ගැනීමයි. සුලු ප්‍රමාණයක් Fibre Glass බෝට්ටු ඇති අතර ඒවා ප්‍රමාණයෙන් කුඩා එක් දින යාත්‍රා ලෙස භාවිතා කරයි. බහු දින යාත්‍රාවල් මෙහි නොපවතී.



මෙම ව්‍යාප්තිය යටතේ පළමුව ධීවර ගම්මාන 9කට ධීවර කර්මාන්තයට අවශ්‍ය Fibre Glass බෝට්ටු, Engine ඇතුලු ආම්පන්න හා Community Centers ලබා දෙන අතර එමගින් ලබා ගන්නා මත්ස්‍ය සම්පත එක් ස්ථානයකට ‍රැගෙන ඒමට කටයුතු කරයි. මේ වන විටත් එම ස්ථානයේ බෝට්ටු නිෂ්පාදන yard, Diesl power Plant, Fish Processing Plant, Salt Plant, Fish Canning Factory, Dry fish Plant, Fish meal Plant, Training School සහ Labratory ඉදිවෙමින් පවතී. තවද ධීවර ගම්මාන වල වෙරළේ පවතින ලාවා නිසා ඇති වන බාධාවන් නැති කිරීමට නැංගුරම් පොළවල්ද ඉදිකරණු ලබයි.



මෙහි තවත් පියවරක් වන්නේ සෑම ගමකින්ම ‍තෝරාගත් ධීවරයන් 11 දෙනෙකුට ශ්‍රී ලංකාවේ තෙමසක පුහුණුවක් ලබා දීමයි. ඔවුන් දැනටමත් තංගල්ලේ පිහිටි සාගර විශ්ව විද්‍යාලයේ පුහුණුව ලබමින් සිටිති. ඉදිරියේදී Grand Comorosහි ඉතිරි ධීවර ගම්මාන හා අංජුවාන්, මොහේලිහි පිහිටි ධීවර ගම්මානද දියුණු කිරීමට ව්‍යාප්තියේ බලාපොරොත්තුවයි.



විශේෂ ස්තුතිය:

මෙවැනි ව්‍යාප්තියකට සම්බන්ධ වීමට ඉඩ සලසා දුන් ව්‍යාප්ති ඉංජිනේරු චාමර ඉරුගල්රත්න මහතාට, ඡායාරූප ලබා දුන් ධනුෂ්ක කුමාර සොහොයුරාට සහ අන්තර්ජාලයෙන් ලබා ගත් ඡායාරූප වල සැබෑ අයිතිකරුවන්ට