Labels

Sunday, January 6, 2013

Karthala Volcano - Comoros ගිනිකඳු තරණය

ගිනි කන්දක් යනු ශ්‍රී ලංකාවේ අපට නුහුරු නුපුරුදු අත්දැකීමක් වුනාට ලෝකයේ අනෙක් අයට ඒක සාමාන්‍ය දෙයක්. එහෙත් මෙම ගිනි කන්ද දැනට ලෝකයේ පවතින ප්‍රධාන සක්‍රීය විශාලතම ගිනි කන්දක්වේ. මේකේ තිබෙන විශාලත්වය ප්‍රභලත්වය දැක ගැනීමට මෙතනින් Google Map 11°46' S 43°22' E වෙත පිවිසෙන්න.

මේ ගිනිකන්දේ යටගියාව ගැන සොයා බැලීමේදී ගිනිකන්ද විදාරණයන් වූ වර්ෂයන් පහත දැක්වේ.
1808, 1814, 1821, 1828, 1830, 1833, 1848, 1850, 1855, 1857, 1858, 1859, 1860, 1862, 1872, 1876, 1880, 1883-84, 1904, 1910, 1918, 1928, 1948, 1952, 1956, 1965, 1972, 1977, 1991, 2005(April), 2005(November), 2006, 2007
උසින් 2361m වූ මෙම ගිනිකන්ද Shield Volcano වර්ගයට අයත්වේ. Shield Volcano යනු විදාරණයේදී සම්පූර්නයෙන්ම ද්‍රවමය ලාවා පවතින ගලා යෑමේ හැකියාවෙන් වැඩි ලෙස සකස් වූ ගිනිකඳුය. 1860 වර්ෂයේදී මෙහි ලාවා 13km දුර ගෙවා ගොස් මොරෝනි නම් වූ මෙරටෙහි අගනුවරද පසුකර මුහුද දක්වා ගලා ගිය බව වාර්තාවේ. මෙම ගිනිකන්දේ විවරය ඉලිප්සීය හැඩයක් ගන්නා අතර එය 4km දිගකින් , 3km පළලකින් හා 100m උසකින් යුක්තවේ. ඉහත විවරය ඇතුලත දිග 1300m ද ,පළල 800m ද හා උස 300m වන ගිනිකන්දේ මුඛ විවරය පිහිටා තිබේ. කලකට පෙර ඒ විවරය තුළත් විෂ්කම්භය 250m වූද ගැඹුර 30m වූත් ළිඳක් වැනි සැබෑම මුඛ විවරයක් පිහිට තිබූ නමුත් දැන් එය වැලි වලින් වැසී පවතී.
ඉතින් මටත් ගිනිකදු තරණයට බොහෝ කල් බලා සිටින්නට සිදු වුනා. ඊට හේතු වූයේ මා Comoros වලට පා තැබූ December මස සිට April මස දක්වා පවතින අධික වැසි සමය මෙවැනි ගමනක් සදහා උචිත නොවීමයි. තවද නොසිතූ ලෙස May මස ඇතිවූ ගංවතුර තත්වයද ඊට හේතු වුනා. එහෙත් මා දෙගිඩියාවට ලක් කල කරුණ වූයේ May මස 9-10 යන දින වල ගිනිකන්දේ සිදු වූ වායු ගිනිගැනීමයි. පහළ පිහිටි ගම් වාසීන් බොහෝ දෙනෙක් මේ සිදු වීම දැක තිබූ අතර අන්තර්ජාලයේද ඒ බව සදහන් වුනා. කෙසේ හෝ මගේ සිතැගියාවා ඉ‍ටුකරගැනීමට හැකි වූයේ June මස 24 වන ඉරු දිනයි. Comorian වැසියන් දෙදෙනෙකුගේ සහය ඇතිව ආරම්භක ස්ථානයට මා යනවිට හිමිදිරි උදෑසන 4 පමණ විය. Kourani නමින් හැදින්වෙන මෙම ගම්මානය මුහුදු මට්ටමේ සිට 770m පමණ උසකින් පිහිටා තිබේ. හිමිදිරියේ පැවති ඝන අඳුරත් සහ මීදුම සහිත ශීත කාලගුණයත් නිසා ගමන් ආරම්භය තවත් පැයක් ප්‍රමාද කිරීමට සිදු විය.

පළමුව ගම්මානය පසු කල අපට ඉදිරියෙන් වූයේ ඔවුන්ගේ කෙසෙල් වගාවන් වූ අතර ඒ අතර හොදින් උසට වැඩුනු ශාක දක්නට ලැබුනි. ඝන වනාන්තරයක ලක්ෂණ දක්නට ලැබුනු අතර තව දුරටත් ඉදිරියට යාමේදී ගස් වල උස මට්ටම අඩු වන බව දක්නට ලැබුනි. මුහුදු මට්ටමේ සිට 1800m පමන උසක් දක්වා විහිදුනු ශාක ප්‍රජාවක් පවතී. තවද එම ශාක වලාකුළු වනාන්තර ලක්ෂණ පෙන්නුම් කරයි.

වලාකුළු වනාන්තර යනු අප හෝර්ටන්තැන්නේදී දකින ශාක මත වැඩෙන පෙද පාසි වැනි ශාක සහිත වනාන්තරවේ. එම පෙද පාසි වලට අවශ්‍ය ජලය ලැබෙනුයේ වලාකුළු මගිනි. ඉන් පසු ගල් මතද පෙද පාසි සහිත පරිසරයක් දක්නට ලැබේ.

ඉන් පසු ක්‍රමයෙන් ශාක ප්‍රජාව පඳුරු බවට පත්වන අතර Karthala කදු මුදුන මෙන්ම රටේ දකුණු පස පිහිටි මහ සාගරයද මනාව දර්ශනය.


උදෑසන 5ට ආරම්භ කල ගමනේ 10.45 පමණ වන විට මට ගිනිකන්දේ 3kmX4km ආවාටය වෙත පැමිණීමට හැකි විය. 14.5km ගෙවා ගෙන ගිනිකන්දේ සැබෑම මුඛය වෙත මා යන විට මධ්‍යහන 12 පමණ විය. පක්ෂීන් කිහිප දෙනෙකු හැරුණු විට වෙනත් සතෙක් මට දක්නට නොලැබුණි. නමුත් කැලෑ තුල Wild goat සිටින බව වාර්තාවේ.


ගිනිකන්ද මුදුනේ පාපන්දු පිටියකට වඩා විශාල වූ වැලි සහිත භූමියන්ද අපට හමු විය. එහෙත් මට විසදා ගත නොහැකි වූ කරුණ වූයේ ගිනිකන්ද මුදුනේ දක්නට ලැබුණු ස්වාභාවික රතු පැහැති පස් සහිත ප්‍රදේශයයි. ගිනිකන්ද මුදුනේදී මට කුණු බිත්තර ගද සහිත H2S වායු ගද දැනෙන්නට විය.

තවද ගිනිකන්දේ මුඛ විවරය තුල පිහිටි ළිං වැනි වලවල් වලින් පිටවන සුදු පැහැති H2S දුමාරයද දක්නට ලැබුණි.

May මස 9-10 යන දින වල වායු ගිනිගැනීම සිදුවීමට අදාල වූ පොලොවේ පැලීම් රේඛාවන්ද දක්නට ලැබුණි. නුහුරු නුපුරුදු අත්දැකීමෙන් ගත සිත සනසාගෙන මා දහවල් 1ට පමණ ආපසු ඒමට පියවර මැන්නේ බොහෝ විට මෙම ගිනිකන්දේ පහස ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වීමේ ඉඩ ප්‍රස්ථාවද ඇතිවය. 29km වූ සම්පූර්ණ ගමන මා Kourani ගම්මානයෙන් නිමා කරන විට සවස 6 පමණ විය.

විශේෂ ස්තුතිය : යන මග කියා දුන් මාර්ගෝපදේශක ස්මයිල් සහ කසීම් මාදි හට
Comoros ගැන සදහන් පෙර ලිපිය -Comoros - ගිනි කන්දක් පාමුල ගෙවන දිවිය