උඩ ලක්ෂපාන කදුවැටිය කිව්වට ලංකාවේ බොහෝ දෙනෙක් නොදන්නා වුනත් සප්ත කන්‍යා කදුවැටිය නම් අහලා ඇති ඒත් ඒකත් ප්‍රසිද්ධ වුනේ 1974 අවුරුද්දේ දෙසැම්බර් 04 වෙනිදා මක්කම බලා ගිය plane එකක් මේ කන්දේ හැපුන නිසයි. DC 8 වර්ගයේ ගුවන් යානයක් කාර්ය මණ්ඩලය 9 දෙනෙකුයි මගීන් 182 දෙදෙනෙකුයි එක්ක ගමන් කරද්දී මුහුදු මට්ටමේ ඉදන් අඩි 4355 උසකදී උතුරු අක්ෂාංශ 6 53' 32.22'' හා නැගෙනහිර දේශාංෂ 80 29' 25.30'' තැනකදි තමයි හැපිලා තියෙන්නේ ඒත් මේ සිදුවීමෙන් කාටවත් ජීවිතය බේරගන්න බැරි වුනා. ඔයගොල්ලන්ටත් හැටන් පාරේ සිරිපාදේ යනකොට මේ කදුවැටිය බලාගන්න පුලුවන්.
හැමදාම වගේ අපේ ගවේෂණ කන්ඩායම සප්ත කන්‍යා කදු තරණයටත් සැලසුම් සකස් කළෙමු. ඒ සදහා 2011 ජූලි 5/6/7 දවස් 3න තෝරා ගනු ලැබුවා. වෙනදා මෙන් අපි ගමන් ආරම්භ කලේ රෑ 12ට නුවරළිය බලා දිවෙන CTB බස් රථයෙනි. අවිස්සාවේල්ල, කිතුල්ගල, පසුකර කලුගලට යනවිට උදේ 3න පමණ විය, පෙරවරු 6ට බස් රථය එනතුරු බස් නැවතුම අපේ නිදන කුටිය බවට පත් විය. උදේ 6.30 පමණ පැමිණි බස් රථයකින් අප හංගාරපිටියට පැමින van රථයකින් සප්ත කන්‍යා කදුවැටිය ආසන්නයේ වූ කොත්තැල්ලෙන ගමට පැමිනියෙමු.
සප්ත කන්‍යා කදුවැටියේ විශේෂත්වය වන්නේ එයට ඇතුලු වීමට හෝ පිටවීමට හැකිවන්නේ සීමිත පෙදෙසකින් පමනකි. අනෙක් ස්ථාන වල ඇත්තේ දරුණු බෑවුම්ය. අප උදෑසන ආහාර ලබාගෙන 9.30ට පමන ගුවන් යානය හැපුනු තුන්වන කන්දට නැගීමට පටන් ගත්තෙමු. මාර්ගපදේශකයෙක් නොමැතිව අසා දැනගත් පරිදි නැගීම ආරම්භ කලද ආරම්භයේ සිට අපට මග වැරදිනි. ඉතා දරුණු බෑවුම් වලින් කදු පන්තියට නැග ගත්තද තෙවැනි කන්ද මත පිහිටි දොල පහර අසල ගල්තලාව සොයා ගැනීමට අපට නොහැකි විය. ඉන් පසු අඩි පාර මග හැරී බට ගස් යායකට සේන්දු විය. අලියා ගිය මගෙහි යෑම හැරෙන්නට වෙන දෙයක් කිරීමට අපට නොහැකි විය.
යන අතරමග එළි කරන ලද කුඩා භූමියක් හමුවුවද ජලය නොමැති එහි පොලොවෙහි ගල් හේතුවෙන් tent එක ගැසීමට සුදුසු පරිසරයක් නොතිබිනි. දිගටම ගමන් කල අපට සවස 4.30ට පමන දරුණු බෑවුමක පිහිටි දිය පහරක් දිස් විය. කොතෙකුත් උත්සාහ කලද දිය පහරට බැසීමේ අපේ උත්සාහය ව්‍යර්ථ විය. ඉන් පසු ආපසු හැරී මගදී හමුවුනු එලිකල කුඩා භූමිය වෙත ලගා වූයේ කිහිපවිටක් පාර වරදාගෙන ගස් වල අප සලකුනු කල සලකුනු වල පිහිටෙන් අදුරත් වැස්සත් සමගය. එතැන අපහසුවෙන් tent එක අටවාගෙන කුසගින්න නිවාගත්තේ බිස්කට් ආහාරයට ගැනීමෙනි. tent එක ඇතුලේද කූඩැල්ලන්ගේ කරදරය නිමක් නොවිනි. කෙසේ හෝ ගල් මුල් මත අප නිදාගත්තා නොවේ. එසේ ඒ දීර්ඝ රැය ගෙවා දැම්මේ තෙත ඇදුම් ඇගලා ගනිමින්ය.
සැබවින්ම සප්ත කන්‍යා යනු කන්‍යා භූමියක්ය. එහි ප්‍රාථමික වනාන්තර භාවය මනාව රැදී තිබුනි. ඊලග දිනයේ අපේ අරමුණ වූයේ බිස්කට් එකකින් කුස පුරවාගෙන ආ මග සොයාගෙන වනාන්තරයෙන් එලියට පැමිනීමයි. මගදී ඇසුනු බට ගස් පොඩි කරන හඩකින් අපි තැතිගත්තෙමු. ආරක්ෂාවට ගෙනගිය රතිඤ්ඤා වල පිහිට බලාපොරොත්තුවෙන් පැය බාගයක් පමන එතැන රැදී සිට අලියා මග හැර අප ඉදිරියට ගියෙමු. ආ මගක සලකුනක්වත් නැත. අවසානයේ ගස් පීරමින් අප පැමින ඇත්තේ විශාල ගලක බෑවුමකටය. වටපිටාව බලාගෙන මග සලකුනක් දැක ගැනීමට මීදුම බාධා විය. හදිසියේ සිහි වූ මාලිමාව ගෙන බැලූ විට අප ගමන් කර ඇත්තේ යායුතු මගට විරුද්ධවය. අපහසුවෙන් ඒ බෑවුමද බැස ගත් අප මාලිමාවේ දිශාව ඔස්සේ ගමන් කලද එයත් ඉතා අපහසු මගක් විය. ඉන් පසු අප දොළ පහරකට බැස ඒ දිගේ පල්ලම් බැස්සෙමු. එම දොළ පහර ටිකෙන් ටික තවත් දොළ පහරවල් වලට එක් වී විශාල වන්නට විය. දොළ පහරේ සමහර ස්ථාන වල කුඩා දිය ඇලි අප පසු කලේ වනාන්තරය හරහා ගමන් කිරීමෙනි.
කෙසේ හෝ සවස 4ට පමන අප ලගා වූයේ විශාල දිය ඇල්ලක මුදුනටය. දෙපස පිහිටි දළ බෑවුම අපට එය මග හැර යාමට නොහැකි වන සේ පිහිටා තිබුනි. එදින එතැන ගත කිරීමට අප තීරණය කලේ බඩගින්න හා වෙන කල හැකි දෙයක් නොමැති නිසාය. කන්දක පිහිටි ගසකට නැග ගත් විට අපට ඉතා දුරින් ටකරන් වහලක් දැක ගත හැකි විය. මීදුම ඒ දර්ශනයටත් හරස් විය. දොළ පහර මත අයිනේ tent එක ගැසූ අප නූඩ්ලස් වේලක රස බැලුවෙමු. අපගේ සියලු අවශ්‍යතා tent එක තුලදී කරගත හැකි වූයේ දිය පහරක් tent එක යටින්ද ගලා ගිය බැවිනි. කුඩා ගල් තලය මත අප නිදාගත්තේ shift එකටය. ඒ රැයද ඉතා දිගු රැයක් විය.
ඊලග දිනයේ අප බතක් උයා ගත්තේ ඉතා අමාරුවෙනි. අමු ලූනු කැරට් මිශ්‍රණය එවෙලේ අපට දිව්‍ය භෝජනයක් විය. උදේ 8.30ට පමන ගමන් ආරම්භ කල අප දිය ඇල්ල මග හැරියේ පෙර පරිදිම බට යායක් පීරිමෙනි. ආපසු දිය ඇල්ල මග හැර දොළ පහර වෙත අප එන විට දහවල් 12 පමන විය. දැන් දොළ පහර ඉතා විශාලය. දොළ පහරට සමාන්තරව අප වනාන්තරයෙන් ගමන් ගත්තෙමු. 1:50000 සිතියම අනුව අප සිටින දොල පහර ගැන යම් අවබෝධයක් ලබා ගත හැකි විය. මෑතකදී ලේ දන් දීමෙන් හා කූඩැල්ලන්ගේ ලේ උරා බීම නිසා ක්ලාන්ත ගතියක් මට දැනුනද අන් සගයන්ට නොකීමට මම වග බලා ගත්තෙමු. කෙසේ හෝ ඉතා දුෂ්කර ගමනකින් පසුව සවස 3ට පමන ගගේ එහා ඉවුරේ එලිකල පෙදෙසක් දැකගත හැකි විය. අපගේ මුහුනු ප්‍රීතියෙන් පිනා ගියේ තේ වත්තක් දැකීම හේතුවෙනි. අප පැමින ඇත්තේ මන්දාරම් ඔය ඔස්සේ බඹරගල ගමට බව දැන ගත් අප ඉන් පසු උඩ මාලිබොඩින්, මාලිබොඩට පැමින දැරණියගල අවිස්සාවේල්ල හරහා කටුබැද්දට සේන්දු විය. එසේ අප ගමන නිමා කලේ තවත් මෙවැනි අවධානම් ගමන් නොයන බව සිතා ගනිමින්ය.
අපට ලබා ගත හැකි වුනේ සීමිත ජායාරූප සංඛ්‍යාවක් පමනි.
විශේෂ ස්තුතිය: යන මග කියා දුන් අමිල සංකේත ගමගේට සහ Lakdasun forum