Labels

Friday, January 28, 2011

සිරිපා මලුව සිඹින සීතල සුළග සමග...........

වෙනදා මාතරින් ඇරඹෙන රුහුණු කුමාරියට අපට ගාල්ලෙන් ගොඩවීමට සිදුවූයේ ගාලු මාතර දුම්රිය මඟ කඩිනම් කිරීම හේතුවෙනි. උදෑසන 6.30ට ගමන් ඇරඹි අප කො‍ටුව දුම්රිය ස්ථානයට ලගාවනවිට උදෑසන 9 පමණ විය. පෙරවරු 9.45ට කඳුකරය බලා ඇදෙන උඩරට මැණිකේ දුම්රිය සතියේ දිනක වුවද මගීන්ගෙන් පිරී පැවතුණි. අපත් අපහසුවෙන් හෝ දකුණු පස අසුන් ගත්තේ උඩරට දුම්රිය මඟ දකුණු පස වඩාත් මනරම් බැවිනි.









බතලේගල, උතුවන්කන්ද බොහෝදුරක් අපගේ නෙත ගැටෙන්නට විය.පස්වරු 3ට පමණ Hatton වලට පැමිණි අපි castlereigh අසල වූ අපගේ නවාතැනට ඇදෙන්නට විය.
සවස් කාලය ජලාශයේ ජලතලය අපගේ නෙත් සිත් පැහැර ගනිද්දී සීතල සුළං ‍රැළි අපට බාධාවක් විය.










මේ සිරිපා වාරයේ වන්දනා නඩ ‍රැගත් වාහන castlereigh ජලාශය වටා ගමන් කරන ආකාරය අපට දිස් විය. අඳුර සමග අපි අපගේ නවාතැනට සේන්දු විය.













ඊළග දිනයේ අපගේ අරමුණ වූයේ මාවුස්සාකැලේ ජලාශයට දියවර සපයන දිය ඇලි ගවේෂණයයි. ඒ සඳහා අප මස්කෙළියට පැමිණ එතැනින් Gatmore වලට පැමිණියෙමු.








1:50000 සිතියමේ පෙන්නුම් කරන Gatmore ඇල්ලට ඉහළින් පිහිටි දිය ඇලි නැරඹීම සඳහා අප පළමුව ගියෙමු. මේ සඳහා අප ‍තෝරාගත්තේ දියපහර දිගේ උඩට නැගීමයි.


කඳු මුදුනකින් ආරම්භ වන මෙහි වම්පස ඇති දිය ඇල්ල වඩා චමත්කාර විය. වැඩි වේලාවක් ඒ අසල ගතකල අපි Gatmore ඇල්ල නැරඹීමට පල්ලම් බැස්සෙමු. ඒ සඳහා විශාල උසක් පහළ බැසීමට අපට සිදුවිය.

කෙසේ හෝ Gatmore ඇල්ලට ළගා වූ අප එහි සුන්දරත්වය වින්දෙමු. කාල වේලාව ඉක්මනින් ගෙවී යන්නට විය. නොදියුනු ප්‍රවාහන සේවයක් ඇති මෙම ප්‍රදේශයේ අවසාන බස් රථයත් අපට දුරස් වන ලකුණු පෙනෙන්නට විය. මාවුස්සාකැලේ ජලාශය අසල ‍රැදී සිටි අපට Moray වතුයාය ප්‍රතිවිරුද්ද පැත්තේ දර්ශනය විය.ඉන් පසු අපට ජීවිතයේ වඩා අවධානම් ගමනක නිරත වන්නට සිදු විය.


















ජලාශය සම්පූර්ණයෙන්ම වාගේ පිරී පැවතුණි. අඩි 350ක් පමණ ගැඹුරු තැන් ඇති මෙම ජලාශය ඔරුවකින් තරණය කිරීමට අප තීරණය කළෙමු. අප සිවුදෙනාම ඔරුවට ගොඩවුනෙමු. ජලය ඉතා වැඩි බැවින් හා සුළග පැවති බැවින් අපහසුවෙන් අප ජලාශය මැද පිහිටි දූපතකට සේන්දු වුනෙමු. ඉන් පසු ආරක්ෂාව පතා වරකට දෙදෙනා බැගින් ඒ බිහිසුනු ගමන නිමාකරන්නට අපට සිදු විය.

එහෙත් ජලාශය මැද දූපතේ සිටි අපට Moray ඇල්ල සහ Gatmore ඇල්ල යන දෙකම එක විට මනාව දිස් විය. අවසානයේ Moray වත්තට ළගා වූ අපට අසන්නට ලැබුනේ අවසාන බස් රථය අද දින නොමැති බවයි. ඉන් පසු අපි දෙපා වලට දිරි දී නල්ලතන්නිය සිරිපා මාර්ගයට පැමිණියෙමු.







අපගේ වෙහෙස මදක් තුරන් වූයේ මෝහිනී ඇල්ල ගමනාන්තයේදී දර්ශනය වීම නිසාවෙනි. අපගේ නවාතැන වෙත ගමන් කරන විට ඉර සැගවී හෝරා දෙක තුනක් ගතවී තිබුණි.





ඊළග දිනයේ අප ලංකාවේ දිගම දුම්රිය උමග වන සිංගිමලේ උමග (559.75m) නැරඹීමට ගියෙමු. මේ සඳහ අප Hatton දුම්රියපළේ සිට සැතපුමක් පමණ දුම්රිය මග දිගේ Kotagala දෙසට ගියෙමු.

















අපට අරුමයක් වුවද බොහෝ දෙනා හුළු අත්තක පිහිටෙන් මෙම කෙටි මාර්ගයේ එහා මෙහා යන ආකාරය අපට දක්නට ලැබුනි. අපගේ වාසනාවට උමග ඇතුලේ සිටිනා විට පොඩි මැණිකේ දුම්රිය දැක ගන්නට හැකි විය. දහවල් 1.55 දුම්රියෙන් Hatton සිට ගමරට බලා පැමිණ අපගේ ගමන නිමාකලෙමු.